in

හතුරුසිංහ ශ්‍රී ලංකාව ගොඩ ගනී ද?

හතුරුසිංහ ශ්‍රී ලංකාව ගොඩ ගනී ද?

දෙසැම්බර් 26, 2017

Photo

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් වීමෙන් පසුව, ඔහුට අභියෝගයක් එල්ලවී තිබේ. දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම හැරයන ක්‍රීඩා ලොලීන් රඳවා ගැනීමට මෙන්ම, කම්පාවට පත්ව සිටින ක්‍රීඩාලොලීන් අස්වසාලන්නත් චන්දික හතුරුසිංහගේ ආගමනය පිටිවහලක් වනු ඇත.

එළඹෙන බංග්ලාදේශ සංචාරයේ සිට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරනු ඇත.

ඉදිරි අභියෝග හා සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, පවතින තත්ත්වය අනුව, සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවයි. නමුත්, පෙරපැවති තත්ත්වයට කණ්ඩායම නැවත නගා සිටුවිය හැකි බවද ඔහු විශ්වාසය පල කරයි.

ඒ සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසා ඇති බවත්, පුහුණුවීම් සිදුකරන ක්‍රමවේදයේ වෙනසක් සමගින් වැඩ ඇරඹිය යුතු බවද හතුරුසිංහ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වයට නොයෙක් කාරනා හේතුවී ඇති බව ද ඔහු පවසනවා.

ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳී යාම හා, තමන් පිළිබඳ තක්සේරුවකින් නොසිටීම මෙන්ම, තේරීම් කමිටුවේ ක්‍රියා පටිපාටිය ද මීට හේතුවී ඇති බව ඔහුගේ අදහසයි.

විටින් විට, ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීම හා කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් ක්‍රීඩකයන් තුළ පවතින ආත්මවිශ්වාසය පළුදුවීම ද මේ තත්ත්වයට විශාල හේතුවක්ව ඇති බව චන්දික හතුරුසිංහ පෙන්වා දේ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ විනය මෙන්ම, තාක්ෂණික ගැටලු සකසාලමින් යහපත් හෙට දිනක් වෙත කණ්ඩායම මෙහෙයවීමේ හැකියාව ඇති බව ද ඔහු විශ්වාසයෙන් පවසයි.

© Island Cricket

Leave a Comment