ජනවාරි 20, 2018
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී දෙවැනි පරාජයටත් මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සත්කාරක බංග්ලාදේශය හමුවේ ලකුණු 163 කිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා පන්දු යැවීම ඉතා ප්‍රාථමික මට්ටමේ තිබීම නැවතත් දැකගත හැකි විය.
බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන තමීම් ඉක්බාල් (84), ශකීබ් අල් හසන් (67) හා මුෂ්ෆිකුර් රහීම් (62) ලකුණු අතරට පැමිණෙද් දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 3ක් දවාගත් තිසර පෙරේරා ද පන්දුවාර 9 දී ලකුණු 60 ක් ප්‍රතිවාදීන් වෙත ලබා දී තිබිණ.
පන්දු වාරයක සාමන්‍ය අතින් ගත් කළ අකිල ධනංජය පමණක් පන්දුවාර 10 දී ලකුණු 40 ක් ලබා දෙද්දී සෙසු සෑම පන්දු යවන්නෙකුම පන්දුවාරයකට ලකුණු 6.50 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දී තිබිණ.
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස්කළ ද පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 157 ක ට සීමා වූයේ පන්දුවාර 17 ක් හා පන්දු 4 ක් ඉතිරිව තිබියදීවේ.
ඒ අතින් ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දුර්වලතා මෙන්ම, පිතිකරුවන්ගේ ද වගකීම් රහිත ක්‍රීඩා රටාව තවදුරටත් දැක ගත හැකි විය.
බංග්ලාදේශ කණ්ඩායම මෙම ජයත් සමගින් ඔවුන්ගේ එක්දින ඉතිහාසයේ විශාලතම ජය වාර්තා කිරීම විශේෂත්වයක් වේ.
මේ තත්ත්වය මත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට නම්, ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම ජයගත යුතු වුව ද එය ද සකසහිතය.
ඒ තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ අංශයේ පැවති දුර්වලතා හඳුනා නොගැනීම නිසාවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.
© Island Cricket