in

වේග පන්දු ඇණියේ දුර්වලතා ශ්‍රී ලංකාවට දෙවැනි පරාජයත් උරුම කරයි

වේග පන්දු ඇණියේ දුර්වලතා ශ්‍රී ලංකාවට දෙවැනි පරාජයත් උරුම කරයි

මාර්තු 12, 2018

Photo

නිදහස් කුසලාන පන්දුවාර 20/20 තරගාවලියේ ශ්‍රී ලංකාවට දෙවැනි පරාජය උරුම කිරීමට ඉන්දියාව අද සමත්විය.

වැස්සෙන් බාධා එල්ලවූ තරගය, පන්දුවාර 19ක තරගයක් ලෙස ආරම්භ කළේ ඉන්දියාවේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙමිනි.

දිනේශ් චන්දිමාල් නොමැති වීම හේතුවෙන් කණ්ඩායමට කැඳවූයේ උප නායක ලෙස නම් කර තිබූ සුරංග ලක්මාල්ය.

පසුගිය තරගයේ දී ද වේග පන්දු යවන්නන්ගෙන් වැඩි දායකත්වයක් නොලැබීම හේතුවෙන් ලක්මාල් ආදේශ කළා විය හැක.

කෙසේ වෙතත්, පිතිකරුවෙක්ගේ අඩු පාඩුව මෙම තරගයේ දී ඉස්මතු වූයේ, ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක පන්දුවාර 4ක් තුළ ලකුණු 34කට දැවී යාමත් සමගිනි.

ධනුශ්ක ගුණතිලක සුරේෂ් රියිනා ශෝට් මිඩ්විකට් කලාපයේ සිට රැකගත් අගනා උඩ පන්දුවකින් දැවී යද්දී පන්දු 8ක දී ලකුණු 17ක් රැස්කරගෙන සිටියේ ඉන්දිය ආරම්භක පිතිකරුවන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරමිනි.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් ද තමා මුහුණදුන් සිව්වැනි පන්දුවේ දී යුස්වේන්දර් චහාල්ගේ පන්දුවක් හමුවේ අපරික්ෂාකාරී ලෙස රිවස්වීප් පහරක් එල්ල කිරීමට යෑම හේතුවෙන් දැවී ගියේ ලකුණු තුනක් ලබා සිටියදීය.

ඉන් අනතුරුව පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්, උපුල් තරංග හා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේය.

උපුල් තරංග තුන්වැනි කඩුල්ල ලෙස දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ පන්දුවාර 10.4 ක දී ලකුණු 96 ක් ලෙසවේ

ජාතික කණ්ඩායමේ තම ස්ථානය අහිමිව සිට බංග්ලාදේශ සංචාරයේ දී නැවත සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් අවසන් ඉනිම පහේ දී රැස්කළ සිව්වැනි අර්ධ ශතකය අද වාර්තා කළේය.

පන්දු 38ක් තුළදී  ඔහු අද රැස්කළ ලකුණු 55ට හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය.

තරංගගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි තිසර පෙරේරා පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, පිතිකරුවෙකු අඩුව ක්‍රීඩා කළ කණ්ඩායමේ අවශ්‍යතාව හඳුනා නොගත්තා දැයි සැක සිතේ.

පන්දු 6කින් ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී නැවත අපරික්ෂාකාරී ලෙස ලෝන් ඔෆ් කලාපයට උඩින් එල්ල කළ පහර නිසි ලෙස පිත්තේ නොවැදීම හේතුවෙන් මිඩ් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි යස්වේන්දර් චහාල් වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

සිව්වැනි කඩුල්ල ලෙස තිසර දැවී යද්දී, ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමට තවත් පන්දු 42ක් ඉතිරිව තිබිණ‍

ජීවන් මෙන්ඩිස්ට හා දසුන් ශානකට පිත්තෙන් වැඩි දක්ෂතාවක් දැක්වීමේ අවස්ථාව ශර්දුල් තාකුර් අතුළු ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම හේතුවෙන්, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19ක දී කඩුලු 9ක් දැවී ලකුණු 152කට සීමා විය.

වේගපන්දු යවන ශර්දුල් තාකූර් ලකුණු 27ට කඩුලු 4ක් දවා ගනිමින්, පන්දුවාර 20/20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

දසුන් ශානක ලකුණු 19ක් රැස්කරද්දී, අකිල ධනංජය හා සුරංග ලක්මාල් ලකුණු 5 බැගින් රැස්කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවූ ඉතිරි පිතිකුරුගේ භූමිකාවට පණ පොවමිනි.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි රෝහිත් ශර්මා හා ශිකර් ධවාන් දෙදෙනාම මුලු ලකුණු 22 ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට අකිල ධනංජය සමත්වූයේ, ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩා ලොලීන්ට කෙටි සහනයක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකාව භාවිතා කළ ප්‍රධාන වේගපන්දුයන්නන් තිදෙනාටම ඉන්දීය පිතිකරුවන් එලව එලවා පහරදෙද්දී, ශ්‍රී ලංකාවට යම් හෝ සහනයක් ගෙන දීමට අකිල ධනංජය හා ජීවන් මෙන්ඩිස් උත්සාහ දරණු දැකිය හැකිවිය.

කෙසේ වෙතත්, මින් පෙර තරග වලදී පන්දුයවන්නෙකු ලෙස ද යම්තාක් හෝ දක්ෂතා දැක්වූ දසුන් ශානක හා ධනුශ්ක ගුණතිලකට අද පන්දු යැවීමේ අවස්ථාව ලබා නොදීම ද විමතියට තුඩු දෙව කරුණකි.

සුරංග ලක්මාල්ගේ පන්දුවාර දෙකට ලකුණු 19 ක් හා දුශ්මන්ත චමීරට පන්දුවාර 3 දී ලකුණු 33 ක් ප්‍රතිවාදීන් විසින් සොරාගත්තේය‍.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවාර 2.3 දී ලකුණු 30 ක් රැස්කර තිබේ.

එසේ ගත් කළ වේගපන්දු යවන්නන් දිගින් දිගටම අසාර්ථක විම කැපී පෙණුන ද, කෙත්තාරාම අන්තයෙන් වේග පන්දු යවන්නන් යොදා ගැනීම දැකිය හැකි විය.

තිසර පෙරේරා පන්දුවාර 2 දී ලකුණු 17 ක් ප්‍රතිවාදීන් වෙත ලබා දී තිබේ.

ඉන්දීය ඉනිමේ සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස සඳහන් කළ හැක්කේ ලෝකේෂ් රහූල් දැවී ගිය ආකාරයයි.

රාහුල් සිය පාදය කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවීයාම ශ්‍රී ලංකාට හිමි වූ සිව්වැනි කඩුල්ල විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් අපරික්ෂාකාරී ලෙස ලකුණු හඹායාමට උත්සාහ කරමින් රැස්කළ ලකුණු 152 ඉන්දීය මැද පෙළ පිතිකරුවන් සංයමයකින් යුතුව හඹාගියේ පන්දු 9 ක් ම ඉතිරි කරමිනි.

නැවත ජයග්‍රාහී මාවතට පිවිස සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස, තරගයක් නොදීම පරාජය වැළඳ ගැනීම සම්බන්ධයෙන් තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩා ලොලීන් සිය අප්‍රසාදය පලකරනු දැකගත හැකි විය.

ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් තරගයට පැමිණීමට නම් බංග්ලාදේශය සමග සිකුරාදා පැවැත්වෙන ඉතිරි තරගය ජය ගැනීම අනිවාර්ය වේ.

© Island Cricket

Leave a Comment