in

විශ්වාසයෙන් පෙරටම – ශ්‍රී ලංකාව නැවත ජය මාවතට

විශ්වාසයෙන් පෙරටම - ශ්‍රී ලංකාව නැවත ජය මාවතට

පෙබරවාරි 18, 2018

බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය සම්පූර්ණයෙන්ම තම අණට නතුකර ගැනීමට ශ්‍රී ලංක කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ අතර, ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජයගැනීමට සමත්විය. ඉන් නොනැවතුණු ඔවුන් අදින් (18) අවසන් වූ පන්දුවාර 20/20 තරගාවලියද තරග 2-0ක් ලෙස ජය ගත්තේ, මින් පෙර නොවූ ආක්‍රමණශීලිත්වයක් පෙන්නුම් කරමින් වීම කැපී පෙනින.

පළමු 20/20 තරගයේ දී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවති දෙවැනි තරගයේ දී ද ප්‍රවේගකාරී ආරම්භයක් සමගින් පහසු ජයක් වාර්තා කරගැනීමට සමත්විය.

Photo

දෙවැනි වරටත් සාර්ථක වූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාගේ කාර්යභාරය මනාව ඉටුකරමින් පන්දු 42 කින් ලකුණු 70 ක් රැස්කරද්දී, ධනුශ්ක ගුණතිලක පන්දු 37 කින් ලකුණු 42 ක් දවා ගැනීමට සමත්විය.

තිසර පෙරේරා අද නොම්බර තුන පිතිකරු ලෙස පැමිණ පන්දු 17 කින් ලකුණු 31ක් රැස්කරද්දී, උපුල් තරංගද ප්‍රතිවාදී පන්දුයවන්නන්ට අස්වැසිල්ලක් ලබා නොදෙමින් පන්දු 13කින් ලකුණු 25ක් ලබා ගත්තේය.

දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිම අවසන් වද්දී පන්දු 11 කදී නොදැවී ලකුණු 30 ක් ලබා ගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 210 ක් රැස්කළ අතර, ප්‍රතිවාදී බංග්ලාදේශය රැස්කළේ ලකුණු 135 ක් පමණි.

සැලසුමක් සහිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පෙර නොවුවිරූ විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන බව ඔවුන් ක්‍රීඩා කළ විලාශයෙන් පිළිඹිබු විය.

ලකුණු 75 ක පහසු ජයක් වාර්තා කළ ද අවසානය තෙක් තරගය සුළුවට නොගෙන අත් නොහැර ක්‍රීඩා කිරීම දැකිය හැකි විය.

තරග දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා ලෙසද සම්මානයට පාත්‍රවිය.

© Island Cricket

Leave a Comment