in

දකුණු අප්‍රිකාවට පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් (වීඩියෝව බලන්න)

Sri Lanka Cricket

ජූලි 30, 2018

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ජය ගනිමින්, තරගාවලියේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව දඹුල්ලේ දී සමත්විය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පහර දුන්න ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුනට නොහැකි විය.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 36 ක් තුළ බිඳ දැමීමට කගීසෝ රබාඩා ඇතුළු වේග පන්දුයවන්නන් සමත් වීමත් සමගින්, ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට පත් විය.

අනතුරුව හයවැනි කඩුල්ලට කුසල් ජනිත් හා එක්වූ තිසර පෙරේරා ශ්‍රී  ලංකා කණ්ඩායම ගෞරවාන්විත තත්ත්වයකට ගෙන ආවේ ලකුණු 92 ක සබඳතාවක් ගොඩ නගමිනි.

තිසර පන්දු 30 කින්  ලකුණු 49 ක් ලබා සිටියදී දඟ පන්දුයවන ටබ්‍රේස් ශම්සිගේ පන්දුවක් හමුවේ දැවී යනවිට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7 ට ලකුණු 138 ක් ලෙස සටහන් විය.

එතැන් පටන් නැවත තරගයට පිවිසි දකුණු අප්‍රිකානුවන් ශම්සිගේ දඟ පන්දුවේ සහයෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 34.3 ක දී ලකුණූ 193 කට සීමා කළේය.

කුසල් ජනිත් ලකුණු 81 ක් රැස්කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට හෝ පැමිණීමට නොහැකිවිය.

රබාඩා හා ශම්සි කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ පළමු කඩුලු දෙක ලකුණු 31 ක් තුළ බිඳ වැටුන ද ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් තුන්වැනි කඩුල්ලට ලකුණු 86 ක සබඳතාවක් ගොඩ නැගුවේ  ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමිනි.

කොක් හා ඩු ප්ලෙසිස්  ලකුණු 47 බැගින් රැස්කළේය.

ඉන් පසුව පිටියට පිවිසි ජේපී ඩුමිනි ලකුණු 53 ක් රැස්කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දුවාර 31 ක් තුළ දී වේ.

අකිල ධනංජය ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුරංග ලක්මාල් හා ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවා ගත්තේය.

තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ  දෙවැනි තරගය ලබන මස පළවැනි දා දඹුල්ලේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

© Island Cricket

Leave a Comment