in

චෝදනා ප්‍රතික්ෂේප කරන ජීවන්ත හා දිල්හාර – අයි සී සී යෙන් පුළුල් පරීක්ෂණ

චෝදනා ප්‍රතික්ෂේප කරන ජීවන්ත හා දිල්හාර - අයි සී සී යෙන් පුළුල් පරීක්ෂණ

මැයි 29, 2018

අල් ජසීරා රූපවාහිනී නාලිකාව මගින් ප්‍රචාරය කළ වීඩියෝ පඨයක් හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය ඇවිලි ගොස් තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් දෙපළක් ද මෙම වීඩියෝවේ සිදුවන සාකච්චා අතර සිටීම හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද වැඩි දෙනාගේ කතා බහට ඉහත වාර්තා වැඩසටහන ලක්විය.

ගාල්ල තණතීරුව මුදලට ඔට්ටු තබන්නන්ගේ අවශ්‍යතාව මත සකස් කළ බවට ද චෝදනා එල්ලවන මෙම වාර්තා වැඩ සටහනේ තවත් ස්ථානයක හිටපු ක්‍රීඩකයන් වන ජිවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ සාකච්චාවක නිරතවනු දැකිය හැකි විය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී සිදුවූ මෙම සාකච්චාවේදී අල් ජසීරා මාධ්‍යවේදීයා ඔවුන් දෙදෙනාට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20-20 තරගාවලියකට ආරාධනා කරන අතර එහිදී සංවිධායකයන්ගේ අභිමතාර්ථය පරිධි තරග වැදීමට ක්‍රීඩකයන්ව කැමති කරගන්නා ආකාරය නිරූපණය විය.

ජීවන්තර කුලතුංග මෙහිදී ප්‍රකාශ කරන්නේ "මෙය වෘත්තීමය අවස්ථාවක්, අපට කිසි ගැටලුවක් නෑ. ක්‍රිකට් කියන්නෙ අපිට උදේ දත් මදිනව වගේ ඉතා පහසු දෙයක්. ඔබට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කිරීම ඊට වඩා පහසුයි."

කෙසේ වෙතත් මෙහිදී, ඉහත තරගාවලිය කුමන මට්ටමේ තරගාවලියක් ද හෝ කවුරුන් සහභාගීවන තරගාවලියක් ද යන්න සඳහන් වන්නේ නැත. ඒ අනුව ප්‍රදර්ශන තරගාවලියකට මොවුනට ආරාධනා කළාදැයි ද සැක කළ හැක.

කෙසේ වෙතත්, අල් ජසීරා වාර්තා වැඩසටහන මගින් ගෙන හැර දැක්වූවේ ඉහත ක්‍රිඩකයන් දෙදෙනා මුදලට තරග පාවාදීමට කැමැත්ත පළ කළ බවවේ.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ අදහස් දක්වමින් ඉහත කාරණා ප්‍රතික්ෂේප කරන බව පවසා තිබේ.

"මෙය එම නාලිකාව ජනප්‍රියත්වය පතා මගේ නම හා කීර්තිනාමය භාවිතා කළ අවස්ථාවක්. අප අතර මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් කිසිවක් සාකච්චා වුණේ නැහැ. සිදුවූ සාකච්චාවේ කරුණු විකෘති කරමිනුයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා." – ජීවන්ත කුලතුංග

"මම 2016 දී පාදයේ ආබාදයට ලක්වීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩා කිරිමේ අවස්ථාවක් මට වර්තමානයේ දී නැහැ. වෛද්‍යවාර්තා මා සතුව තිබෙනවා මට වෙහෙසකර ක්‍රීඩා කළ නොහැකි බවට. ඒ වගේම වසරකට පෙර ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවක සිදුවූ දෙයක් මෙය. ජීවන්ත කුලතුංගගේ නිවසේ සිට ඔහුගේ යහලුවන් කිහිපදෙනෙකු හමුවීමට ගිය අවස්තාවේදී මෙම පටිගත කිරිම සිදුකර ඇත්තේ. මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ" – දිල්හාර ලොකුහෙට්ටිගේ ඔස්ට්‍රේලියාවේ සිට පලකල අදහස්.

කෙසේ වෙතත්, සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ජීවන්තර කුලතුංගගේ සේවය මේවනවිට අත් හිටුවා තිබේ. එසේම දිල්හාර ලොකුහෙට්ටිගේ සම්බන්ධයෙන්ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉල්ලන ඔනෑම තොරතුරක් ලබා දීමට ක්‍රියා කරන බව ද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා පැවසීය.

"දිල්හාර සමග අපට රාජකාරීමය බැඳීමක් නැහැ. ඔහු හිටපු ක්‍රීඩකයෙක්. අයි සී සී පරීක්ෂණයට අවශ්‍ය තොරතුරු අපෙන් ඉල්ලුවොත් අප ඔවුන්ට ඒ තොරතුරු ලබා දෙනවා." – ඈශ්ලි සිල්වා (ප්‍ර.වි.නි.)

මේ අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහකාර කලමණාකරු ලෙස කටයුතු කරමින්, ක්‍රීඩාංගණයේ තණතිලි මුදලට ඔට්ටු තබන්නන්ගේ අභිමතය පරිදි සකස් කළ බවට චෝදනා එල්ලවන තරංග ඉන්දිකගේ මෙන්ම, ඔහුට හවුල් වූ බවට චෝදනා එල්ලවන වර්ථමානයේ ගම්පහ දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන හිටපු පළමු පෙළ ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් ගේ ද වැඩ තහනම් කර තිබේ.

තණතිලි සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තරංග ඉන්දික පරිපාලන මට්ටමින් ක්‍රියා කළා විනා තණතිලි සකස් කිරිමට හවුල්  වූයේ නැති බවය. ඒ හේතුවෙන්, තණ තිල්ලක ස්වභාවය වෙනස් කිරීමේ බලයක් තරංගට නොතිබූ බව ද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මේවනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මේ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

© Island Cricket

Leave a Comment