in

'අපේ ඇත්තම ඉලක්කය වෙලා තිබුණේ ලකුණු 300 සීමාව ඉක්මවා යන්න' – කරුණාරත්න

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සාර්ථක ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන්ට සමත් වුවද පන්දුවට පහර දුන් කිසිම පිතිකරුවකුට දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකි වීම මත තරගයේ පළමු දිනයේ වැඩි ඵල පාකිස්තානු පිල සතු කරගෙන සිටියි. ඒ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 202 ක් ඇතුළතදී ලබා ගනිමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු සමත් වූ නමුත් මැද පෙළ පිතිකරුවන් අතින් වූ අතපසුවීම් හේතුවෙන් එසේ ලද සාර්ථකත්වය දිවා ආහාරයත් තේ පානයත් අතර වූ කාලයේදී සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු වූයේ ලකුණු 31 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගැනීමට පාකිස්තානු වේග පන්දු යවන්නන් සමත්වීම නිසාය.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 62 ක වටිනා සම්බන්ධතාව හේතු කොට ගෙන පළමු දිනය ක්‍රීඩාව අහවර කරන විට සැනසිලිදායක හෙවත් ලකුණු 200 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.

වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් මෙම තරගයට අවතීර්ණව සිටින පාකිස්තානු කණ්ඩායමට මෙය තරමක මානසික වාසියක් ගෙන දෙන්නක් වුවත් ඒ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසන්නේ තවමත් තරගය දෙපිළටම විවෘතව තිබෙන බවයි.

“තරගය අනුව කණ්ඩායම් දෙකටම පනහට පනහ තියෙන තරගයක්. පළමු සැසියේදී අපි හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවැනි සැසියේදී පාකිස්තානු පන්දු යවන්නෝ යළිත් තරගයට අවතීර්ණ වෙලා වැඩි වාසි ඔවුන්ගේ පැත්තට හරවා ගත්තා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි දිවා ආහාරයෙන් පසු ඔවුන් නියමිත ස්ථානවල පන්දු යවලා අපේ පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළා. ඒ කොහොම වුණත් තණතීරුව නම් තවමත් පන්දුවට පහර දීමට සුදුසු තත්ත්වයේ තියෙනවා. මම දනින්නේ අවාසනාවකට අපේ අතින් අඩුපාඩු කම් සිද්ධ වුණ එක. නමුත් දික්වැල්ල සහ ධනංජය හෙට තරගයේදී හොඳින් ලකුණු අතරට ආවොත් මේ තරගය හොඳ තරගයක් බවට පත් වේවි”යි දිමුත් පවසයි.

පළමු දිනය අවසනදී ධනංජය ද සිල්වා ලකුණු 38 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින පිතිකරුවන් වෙති. කණ්ඩායම සමබර කිරීම වෙනුවෙන් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණෙන නමුත් මොවුන් දෙදෙනාම මීට පෙර ආරම්භක පිතිකරුවන් මෙන්ම ඉදිරි පෙළින් පන්දුවට පහර දෙමින් දැවැන්ත ඉනිම ගොඩ නැංවීමට සමත්වූ පිතිකරුවෝ බැවින් හෙට දිනයේදී පාකිස්තානය බලාපොරොත්තු නොවූ වෙනසක් ඇති කිරීමේ හැකියාව හොඳින්ම පවතිනු ඇත.

“අපේ ඇත්තම ඉලක්කය වෙලා තිබුණේ ලකුණු 300 සීමාව ඉක්මවා යන්න. පන්දු යවන්නන්ට රිසි විදියට පන්දු යවන්න නම් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ තිබිය යුතුයි. අපි හොඳ ආරම්භයක් ලබා ගත්තත් මැදද ඒ ආරම්භය එක දිගට රඳවා ගැනීමට නොහැකි වුණා. ඒත් මැදදි වුණු ඒ අවාසිය මැතිව්ස්ගේ ඉනිමෙන් පොඩ්ඩක් අඩු වුණා. දික්වැල්ල සහ ධනංජය දෙන්නා හෙට උදේ අළුතෙන් තරගයට අවතීර්ණ වෙලා ලකුණු 300 කට එහා ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායම ඇදගෙන යන්න පුලුවන් වුණොත් මං හිතනවා අපි බලාපොරොත්තු වුණු දේ කරා අපිට යන්න හැකියාව ලැබෙයි කියලා” යි ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දැක්වීය.

Leave a Comment