in

ලොක්කන් සනසවමින් වල්පල් දොඩවන ක්‍රිකට් විස්තර විචාරක

මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විචාරකයන්ගේ පල්හෑලි හේතුවෙන් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මෙන්ම තරගාවලියට ඇති වටිනාකමත් ගිලිහී ගොස් තිබේ.

දේශීය විනිසුරුවරයෙක් වන සේන නන්දවීර, අතිරේක විස්තර විචාරකයෙක් ලෙස පාසල් තරග හා දේශීය තරග විස්තර විචාරය කිරීමට ගුවන් විදුලිය හා එක්වු ආධුනික විස්තර විචාරකයෙකු වුවත්, වර්ථමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විකාශය කරන සියලුම විස්තර විචාරයන් සඳහා සම්බන්ධවේ.

කිසිදු පදනමක් නොමැතිව, ඔහුගේ විස්තර විචාර ඇසීමට ක්‍රීඩා ලොලීන් තරග නරඹනවා යැයි හිස උදුම්මවා ගනිමින් වල්පල් දෙඩවීමෙන් සිදුවන්නේ සත්‍ය තොරතුරු වෙනුවට මුසා බස් සමාජ ගත කිරීමයි. පසුගිය දා අවසන් වූ තරගය අතරතුර චයිනමන් ගැන පැහැදිලි කිරීමට පන්දුවාරයක් පමණ වැය කළ ඔහු පැහැදිලි කළ චයිනමන් කෙනෙකු නොමැත.

බන්දුල වර්ණපුර, සංජීව වීරකොන් වැනි ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමක් ඇති පිරිසට අදහස් දැක්වීමට ඉඩ නොදී දිගින් දිගටම තම මතය සමාජ ගත කිරීමට උත්සාහ කිරීම ජුගුප්සාජනකය. ස්වීප් පහරකින් ලකුණු ලබා ගැනීමේ දී දර්ශනීය ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරක් ලෙස අර්ථ ගැන්වූ ඔහුගේ වරද බන්දුල වර්ණපුරයන් නිවැරදි කළේය.

රූපවාහිනී විස්තර විචාරයක ඇති, මූලිකාංග ගැන හෝ කිසිදු දැනුමක් නොමැතිව පන්දු යවන අවස්ථාවේ ත්, පහරදෙන අවස්ථාවෙත් අතෝරක් නැතිව කියවන්නේ එය ගුවන් විදුලි විස්තර විචාරයක් යැයි සිතා අන්ද මන්දව විය හැක. පෙනෙන රූපරාමු මෙලෙස වචනයෙන් විකෘති කරන්නන් ගුවන් විදුලිය හරහා මවා පෙන්වන තරග ගැන දැන් වැටහීමක් තිබේ.

ක්‍රිකට් සම්බන්ධයෙන් වූ, දැනුම කොතෙක් ද යත්, එංගලන්තයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන බැවින් ඩියුක් පන්දුවෙන් ක්‍රීඩා කිරීමේ වැදගත් කම මෙරට මෙන්ම ලෝක වාසීන්ට ඔහු දැනුවත් කළේ දැනුවත්ව දෝ නොදැනුවත්ව දෝ සැක සහිතය. ඒ අවස්ථාවේ සජීව වීරකෝන් එම වරද නිවැරදි කරමින් ලෝක කුසලාන තරග කුකබරා පන්දුවෙන් ක්‍රීඩා කරන බව පැවසීම පැසසිය යුතුය.

කුඩා කළ පාලිත පෙරේරා, ප්‍රේමසිරි ඈපාසිංහ, කමල් දේශප්‍රිය, කැලුම් ශ්‍රී මාල් වැන්නවුන්ගේ විස්තර විචාර අසා ලොකු මහත්වූ පිරිස් මෙවන් විහිලිකරුවන් ගේ වහසි බස් හෝඳින් හඳුනන බව මෙවැන්නන් නොදන්නවා විය නොහැක. ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සතුටු කරමින් වෙනත් සුදුසු රැකියාවක් නොකොට, රූපවාහිනිය හරහා ඔවුනට සුදු හුණු ගෑමෙන් හරයක් නොමැත. සේන නන්දවීරට අනුව ඔහු තරම් ක්‍රිකට් දන්නා කෙනෙකු මිහිපිට නැත. ඔහුට සියලු දෙනා යටත්ය.

ඔහුගේ උඩඟුකමට ලසිත් මාලිංග තරග අවසානයේ අවස්ථානුකූල පිළිතුරක් ලබා දුන්නේය. තොප්පියේ පාට ඇසීමට ගිය නන්දවීරට තෝපියෙන් මූණ වසාගැනීමට සිදුවිය, ලසිත් ලවා ප්‍රශස්ති ගී ගායනා කරගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය. දැන් ඇතැම් පිරිස් පවසන්නේ ලසිත් මාලිංගට තරගාවලිය සම්බන්ධයෙන් එවැනි අදහස් දැක්වීමක් සිදු නොකළ යුතුවූ බවයි. නමුත්, පැවසිය යුත්තේ, අධික උෂ්ණත්වයක් යටතේ පන්දුවාර 100 කට පසුව, ගොන් ප්‍රශ්න නොඇසිය යුතුව තිබූ බවයි.

ලසිත්ගේ තොප්පියේ පාට කණ්ඩායමට ගැටලුවක් නොවේනම්, කණ්ඩායමේ කළමනාකරුට ගැටලුවක් නොවේනම් වේතනයක් ගෙන විස්තර විචාරයේ යෙදෙන සේනට ඇති ගැටලුව කිම. ලසිත්ට සිදුකළ යුතුව තිබුණේ “වැඩක් බලන්න ඉන්න මනුස්සයෝ” ලෙස එක් පේළියකින් පිළිතුරු දීම පමණි.

මෙවන් පිරිස් ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නා පුද්ගලයන් මීට වගකිව යුතුය. ක්‍රිකට් දන්න, විස්තර විචාරය ගැන දන්න පිරිස් යොදා ගනිමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින්, දරුදැරියන්ට ක්‍රීඩාව කෙරෙහි ආදරයක් ආසාවක් ඇති කළ හැකි පිරිස් යොදා ගනු මැනවි. කඩේ යන්නන් හා හට්ටි මුට්ටි සෝදන්නන් සිදු කරන්නේ එය විනාශ මුඛයට ඇද දැමීමයි.

සේන නන්දවීරයන්ගේ විශිෂ්ඨ විස්තර විචාරය සම්බන්ධයෙන් සමාජ ජාලයේ මෙසේ සටහන්ව තිබිණ

Leave a Comment