in

පැතුම් නිස්සංක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

පැතුම් නිස්සංක ලංකාව වෙනුවෙන් පලවෙනි වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබුවා. පැතුම්ගේ ආගමනය ගොඩක් ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තුවෙන් හිටිය අවස්ථාව ක් නිසාත් අපේ මාධ්‍ය වල හා ප්‍රේක්ෂකයන් ගේ ස්වභාවය දන්නා නිසා කරුණු කිහිපයක් මතක් කරන්න හිතුනා.

ඕනෑම ක්‍රීඩකයෙකුට තරගාවලියක අත්වෙන්න පුලුවන් සරල ප්‍රතිඵල දෙකක් තියෙනවා.

එකක් අසාර්ථක වෙන එක. ඒක පැතුම්ටත් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. පැතුම් වඩා ප්‍රසිද්ධ  වෙන්නේ ටෙස්ට් ක්‍රීඩකයෙක් විදියට මිස එක් දින හෝ ටී 20 පිතිකරුවෙක් විදියට නෙමෙයි. ඔහුගේ එක්දින හා ටි 20 තරඟ වාර්තා තුන්දින තරඟ වල වගේ සුවිශේෂී නැහැ. අනෙක ඔහු මේ දස්කම් දක්වන්නේ අපි කවුරුත් පිලිගන්න ලංකාවේ දියාරු පලමුපෙළ තරගාවලිය තුල..ලංකාවේ පලමුපෙළෙ තරගාවලි හා ජාත්‍යන්තර ක්‍රිකට් අතර ලොකු පරතරය ක් තියෙනවා..ඒ වගේම පැතුම් මේ ක්‍රිඩාකරන්නේ තමාට නුපුරුදු තණනිලි වල.

කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන විදියට ම පැතුම් සාර්ථක වෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ පිලිබඳ ඉඟි ඔහුගේ පළමු ඉනිමේ දී ම ඔහු පලකලා. පළමුවෙන්ම ඔහු අති දක්ශ ක්‍රීඩකයෙක්. අර්ධ ශතක, ශතක බවට පෙරලිමටත් ශතක විශාල ශතක බවට පත් කිරීමටත් ඔහු සතුව විස්මිත හැකියාවක් තියෙනවා. අනෙත් අතට පලමුපෙල තරග වල පවා ඔහු වේගයෙන් පහර දෙන ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. ඒ නිසා ටී20 හා එක්දින තරග රටාවන්ට ඔහුට අනුගත වෙන්න අමාරුවෙන එකක් නැහැ..මෙවර කොදෙව් තණනිලි ත් මන්දගාමී, දඟ කැවෙන, ඒ කියන්නේ ලංකාවට තරමක් සමාන වෙන්න පුලුවන් කියලා ඉගි පලවෙනවා.

ඔහුට මේ ප්‍රතිඵල දෙකෙන් කුමක් අත් වුණත් ඔහු වෙනුවෙන් ප්‍රේක්ෂකයන් කල යුත්තේ උපෙක්ෂාවෙන් බලාසිටිම පමණ යි.

ඔහු අසාර්ථක වූවොත්, ජාත්‍යන්තර පිටියට පිවිසෙන ඕනෑම ක්‍රීඩකයෙකුට ඒ තුල ස්ථාපිත වෙන්න යම් කාලයක් අවශ්‍ය බවත් ලංකාව වැනි ඉතා දුර්වල පළමුපෙල ක්‍රිකට ගසන රටක මේ කාලය තවත් වැඩි විය හැකි බවත් අරවින්ද, සනත් වැනි ලෝක පූජිත තරු වලට පවා අසාර්ථක මුල් අවුරුදු කිහිපයක් තිබු බව හිතට ගන්න.

යම් හෙයෙකින් පැතුම් සාර්ථක වුණොත් කරුණාකර ඔහුව “නෙක්ස්ට් මහේල’, ‘ශ්‍රි ලංකන් කෝලි’ වැනි අච්චු වලට නොදමන්න. මෑත කාලයේ වැඩි පුරම බැනුම් අහගත්තේ නෙක්ස්ට් අහවලා යැයි කලකට පෙර කියු ක්‍රීඩකයන් බව මතක් කරගන්න. අනිත් අතින් ශතකය ක් දෙකක් රැස් කල පමණින් ඔහුට මුලු කණ්ඩායමේ බර පටවන්න ත් ඔහු සෑම තරඟයක් ම ජයග්‍රහණය කරා ගෙන යතැයි බලාපොරොත්තු නොවන්න. සනත් තමාගේ හොඳ ම රිද්මයේ සිටියදි පවා කණ්ඩායමේ බර දැරුවේ අරවින්ද බවත් මහේල සංගා ශ්‍රි ලංකාවේ බර කරට ගැනිමට පෙර අවුරුදු 6-7ක් සනත් යටතේ ක්‍රිඩා කල බවත් මතක් කරගන්න. නවක ක්‍රීඩකයෙකුට අනවශ්‍ය පරිදි කණ්ඩායමේ බර පැටවීමෙන් ඔහුට ඇති වන පීඩනයත්, කෙටි කලකින් ඔහු වෙත පැමිණෙන ජනප්‍රියත්වය හා වෙනත් දේ කලමනාකරණය කර ගැනිමේ නොහැකි කමත් නිසා පසුකාලීනව ඔහු අසාර්ථක වෙන්න පුලුවන් බවත් සිතන්න. එවිට ඔහුට මුල්ම ගල ගසන්නේ ත් ඔහුව පුම්බපු මාධ්‍ය හා ප්‍රේක්ෂක ඔබ බව මතක් කරගන්න. තේරෙන බාසාවෙන් කියනවා  නම් කුසල් මෙන්ඩිස් ට කල දේ පැතුම් ට නොකරන්න.

පැතුම් ට නිදහසේ තමාගේ ක්‍රීඩාව තුල ගොඩ නැගෙන්න ඉඩ දෙමු. අනවශ්‍ය විවේචන වගේම ප්‍රශංසා වෙනුවට සාධාරණ ඇගයිම් කරමු. එවිට තව වසර කිහිපයකින් ඔහුගෙන් නිසි ඵල අපට නෙලා ගන්නට ලැබේවි.

Leave a Comment