in

දිනෙන් දින බොඳ වන ලෝක කුසලාන සිහිනය සහ හෙට එoගලන්ත තරඟය

ඊයේ  පැවති තරඟයෙන්  දකුණු අප්‍රිකාව පරදවා නවසීලන්තය  ජයග්‍රහණය කිරීමත් සමඟ අවසන් පූර්ව වටයට එලඹීමේ ශ්‍රී ලoකාවේ බලාපොරොත්තු තවදුරටත් බොඳවී ගියේය. 

දැනට තරඟ  5 බැගින් ක්‍රීඩා කර ඇති  එoගලන්තය සහ ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා ඇති අතර තවමත් තරඟ 4 කට පමණක් ක්‍රීඩා කර ඇති ඉන්දියාව කිසිඳු තරඟයක් පරාජයට පත් නොවී ප්‍රසාද ලකුණු 7ක් ලබා සිටී. එබැවින් ඉදිරියේදී  තරඟයක් හෝ දෙකක් පමණක් ජයග්‍රහණය කොට ප්‍රසාද ලකුණු 10 සීමාවට ලඟා වීමට හෝ ඉක්මවා යාමට  ඉහත කණ්ඩායම් වලට අවස්ථාව ඇත.  දැනට ප්‍රසාද ලකුණු 4ක් පමණක් ලබා සිටින ශ්‍රී ලoකාව ඉදිරි තරඟ හතරෙන් තුනක් ජයග්‍රහණය කලද ලබා ගත හැකි මුළු ප්‍රසාද ලකුණු ගණන 10 කි.

එකඳු තරඟයක් හෝ පරාජය නොවී සිටි නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ මුල් ජයග්‍රහණ ලබා තිබුනේ දුර්වල කණ්ඩායම් සමඟ බැවින් ප්‍රබල කණ්ඩායම් සමඟ ඉදිරි තරඟ පරාජය වුවහොත් නවසීලන්තය ලකුණු සටහනේ පසුපසට යාමට යම් අවස්ථාවක් තිබුණි.  නමුත් දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයත් සමඟම ප්‍රසාද ලකුණු 9ක් සමඟින් නවසීලන්තය දැනට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේම පසුවේ.  ප්‍රසාද ලකුණු 10 සීමාව ඉක්මවා යාමට ඔවුන්ට අවශ්ය වන්නේ තවත් එක් ජයග්‍රහණයක් පමණි. ඒ සඳහා ඔවුන්ට තවත් තරඟ 4ක් ඉතිරිව ඇත.

ඉහත කරුණු සැලකීමේදී අඩු තරඟ ගණනක් ජයග්‍රහණය කොට දල ලකුණු ලබා ගැනීමේ වේගයද ඉතා දුර්වල තත්වයක ඇති ශ්‍රී ලoකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට එලඹීමට හැකි හොඳම ක්‍රමය වන්නේ ඉදිරි තරඟ සියල්ල ජයගෙන ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගැනීමයි. . එහෙත්  ක්‍රීඩා කල සෑම තරඟයකදීම මැදපෙල අසාර්ථක වූ ඇෆ්ඝනිස්ථානය පැරදවීමටද විශාල සටනක් දීමට සිදුවූ අපේ කණ්ඩායම ප්‍රබල  එoගලන්තය , ඉන්දියාව , දකුණු අප්‍රිකාව  සහ බටහිර ඉන්දීය කොදෙව්  යන කණ්ඩායම් සියල්ල පරදවා ඉදිරි තරඟ හතරම ජය ගනු ඇතැයි විශ්වාස කිරීම අපහසුය.

එබැවින් අපට කල හැක්කේ අවම වශයෙන් ඉදිරි තරඟ හතරෙන්  තුනක් වත් ජයග්‍රහණය කොට ප්‍රසාද ලකුනු 10ක් ලබාගෙන කණ්ඩායම් තුනකට වඩා ප්‍රසාද ලකුණු 10 සීමාවට ලඟා නොවනු ඇතැයි ප්‍රාර්ථනා කිරීමයි.  දැනට ඇති තත්වය අනුව එoගලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 10 සීමාවට ලඟා වීම වැලැක්විය නොහැකි බැවින් නවසීලන්තය ඉදිරි තරඟ සියල්ල පරාජය වී පාකිස්ථානය,   කොදෙව්වන් සහ බoගලාදේශය හැකි පමණ ඉහත ප්‍රබල කණ්ඩායම් වලට පරාජය වී ඔවුන්ට ප්‍රසාද ලකුණු 10 සීමාවට ලඟා වීමට නොහැකි වේවායි අපට සිතීමට සිදුවේ.

ප්‍රයෝගිකව ගත් කල අප සිතූ පැතූ සියල්ල සිදුවන අවස්ථා බොහෝ විරලය. නමුත් සිදුවිය හැක. එහි ප්‍රථම පියවර ලෙස එoගලන්තයට එරෙහිව   ජයග්‍රහනයක් ලබා ගැනීම  අපේ ක්‍රීඩකයන්ට  අනිවාර්ය කරුණකි.

© Hit Wicket

Leave a Comment