in

කුසල් මෙන්ඩිස් ගේ නැගිටීම

Kusal Mendis

 

අවසානයේ කුසල් මෙන්ඩිස් නැගී සිටියේ ය. ඔහු එසේ නැගී සිටියේ පිතිකරුවෙකු ලෙස නොවේ. පිතිකරුවෙකු ලෙස කුසල් නැගී සිටියේ වසර දෙකහමාරක ට පෙර ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවතී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. ඔස්ට්‍රේලියාවට වඩා 100 කට ආසන්න ලකුණු ප්‍රමාණයක් පිටිපසින් සිට දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ ජයග්‍රහණයකට ත් ඉන් ඔබ්බට ගොස් තරගාවලි ජයග්‍රහණයකට ත් ගෙන යාමට පාර කැපු, එවකට 21 වියැති කුසල්ගේ ලකුණු 176 සැලකෙන්නේ ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු දියත් කල විශිෂ්ටතම ගණයේ ඉනිමක් ලෙසයි.

මෙවර කුසල් නැගී සිටියේ තමාට අවලාද නගන්නන්ට එරෙහිව ය. ප්‍රධාන ලෙසම සමාජ ජාලා මාධ්‍යය හරහා තමාව අපහාසයට හා උපහාසයට ලක් කරන්නන් ට එරෙහිවය. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් සමාජ කටගැස්මක් බවට පත් කර ඊට ලැබෙන ප්‍රතිචාර මත තමාගේ පැවැත්ම සදා ගත් බුකි පිටුකරුවන් නමැති පරපෝෂිතයන් ට එරෙහිවය. විටෙක ඉන්දියාවේ විරාට් කෝලි ව තළුමරමින් සිට පසුව ඔහුගේ විශිෂ්ටත්වය හමුවේ පසු බැස කෝලි ව වර්ණනා කරන්නට පටගත්තේ  මොවුන් ය. කාලයක් ගහක් ගලක් ගානේ වත්මන් ජනාධිපතිතුමන් ගේ මුහුණ යොදා සංස්කරණය කරමින් ආතල් ගෙන ජනපතිගේ දේශපාලන කඳවුරු මාරුව සමග නන්නත්තාරව ගියේ ද මොවුන් ය.

සමාජ ජාලා හරහා තමාට එල්ල වන උසුළු විසුළු තමාට දරා ගැනීමට අසීරු බව කුසල් විවිධ අවස්ථාවල ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා නොවේ නම්, අවම ලෙස විශිෂ්ටතම පිතිකරුවන් කිහිප දෙනා අතරට අනාගතයේ එක් වීමට තමාගේ ඇති විභවය පිලිබඳ විටෙන් විට ඉඟි පල කරද්දී පවා කුසල් ට දිරි දීමටත් රැක ගැනීමටත් මෙම පිරිස උනන්දු නොවුයේ ඊට වඩා තමාගේ පැවැත්ම වටිනා නිසා විය යුතුය. අවසානයේ කුසල් ගේ සැර ප්‍රකාශය  හමුවේ රෙදි පිළි ගැලවී දිනය ක් පමණ තුෂ්නිම්භූතව සිටි බුකි පිටුකරුවන් න් නැවත වැඩ අරඹා තිබෙන බව පෙනේ.

“පනහක් ගහලා ඔච්චර ලොරි ටෝක් දෙන්න එපා” යන්න එක බුකි පිටුකරුවෙකු පල කල සටහනකි. කාරණය සැබෑ ය. 21 වැනි වියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත ලකුණු 176 ට පසුවත් ඉන් අනතුරුව බංගලාදේශයට, කොදෙව්වන්ට එරෙහිව විශාල ශතක  ලබා ගත් පසුව ත් ශුරයන්ගේ කුසලානයේ දී ඉන්දියාව හමුවේ ලකුණු  324 ක් පන්නා ගොස් ලබා ගත් ජයග්‍රහණයේ දී තරගයේ වීරයා සම්මානයට ලක් වෙද්දීත් කොටින් ම පසුගිය වසරේ ටෙස්ට් පිටියේ ලකුණු 1000 සම්පුර්ණ කල දෙවන පිතිකරු හා  ඒ බි ඩිවිලියස් පසු වයස 24 ට පෙර එම දස්කම දැක වූ ප්‍රථම පිතිකරුවා වන විටත් නොදුන් ලොරි ටෝක් දැන් දෙන්නට උවමනා නැත.

මීළඟට අදහස් එන්නේ විද්වත් මුහුණුවරකිනි. අර්ජුන, අරවින්ද , මාවන්, සංගා හා මහේල උපහැරණ කොට දක්වමින් ඇතැමුන් ප්‍රකාශ කරන්නේ විනය පිලිබඳ වයි. පළමුව වටහා ගත යුතු වන්නේ ඉතිහාසයේ කිසිම පරපුරකට අද මෙන් සමාජ ජාලා හරහා පිඩනයට මුහුණ දීමට සිදු නොවුන බවයි. විවිධ කට කතා අපවාද උපහාස තිබුනත් ඒවා අදාළ ක්‍රීඩකයා වෙත ලගා වුවේද කියාවත් අප දන්නේ නැත.

1995 සිට මුරලිට පන්දුව දමා ගසන බවට අසත්‍ය චෝදනා එල්ල වූ අතර 1997 දී එංගලන්තය හා පැවතී තරගයකදී ඒ වන විට අදාළ චෝදනා වලින්  නිදොස් ව සිටි මුරලි ව නැවත චෝදනාවට ලක් කිරීමට විනිසුරු වරුන් උත්සහ දැරූවේය. අර්ජුන එම අවස්ථාවේ කලේ ඊට විරෝධය  පා තම කණ්ඩායම සමග පිටියෙන් ඉවතට යාමයි. මේ ක්‍රියාව නිසා අර්ජුනට එරෙහිව ICC හරහා විනය පරීක්ෂණ පවා පැවැත්වීමට කටයුතු කෙරුණි. 2007 දී ඕස්ට්‍රේලියාවේ සංචාරය කල කණ්ඩායමේ සිටි මාවන් ජාත්‍යන්තර මාධ්‍යය ඉදිරියේ කිවේ තමාව දිගින් දිගටම කණ්ඩායමෙන් ඉවත් කල ලංකාවේ ක්‍රිකට් තේරීම කමිටු ප්‍රධානියා විකටයෙකු බවත් ඔහුගේ සගයන් රූකඩ රැලක් බවයි. විටෙන් විට මහේල සංගා පවා මාධ්‍යය විවේචනය කලත් ඒ වන විට පරිණත ක්‍රීඩකයින් වූ ඔවුන් එය කලේ ගැටලුකාරී නොවන අයුරිනි. සෑම සඳුදා රාත්‍රියකම රුපවාහිනිය ඔස්සේ තමාව පතුරු ගැසීමට පුරුදුව සිටි සිරස නාලිකාවේ මාධ්‍යවේදියාට ලසිත් මාලිංග බැන වැදුනේ වසර කිහිපයකට පෙරය.

තමාට දිගින් දිගටම වන අසාධාරණ වන විට එක්තරා අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දැක්වීම ඕනෑම පුද්ගලයෙකුගේ ස්වභාවය ය. ඇතැම් විට එය තමාගේ ඉහල බලධරයාට ද තවත් විටෙක තම සගයකුට එරෙහිව හෝ මාධ්‍යය හා ප්‍රේක්ෂකයන් ට එරෙහිව හෝ විය හැක. එකී තැනැත්තා නිවටයෙකු නොවන තාක් කල් හා සටන්කාමියෙකු වන තාක් කල් එය සිදු වේ. ක්‍රිකට් පිටියේ සටන්කාමියෙකු වන කුසල් ගේ මෙම නැගීසිටීම සාධාරණ වන්නේ  ඒ නිසාය. තවදුරටත් මේ තරුණ ක්‍රීඩකයා සමඟ එල්ලෙමින් සිටිනවාද නැතිනම් පරපෝෂිත බුකි පිටුකරුවන් හට වෙනත් ගොදුරක් සොයා ගැනීමට ඉඩ හැර  කුසල්ගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වය පහසු කිරීමට දිරි දෙනවා ද යන්න ලෝක කුසලානය සඳහා දින සියයකට අඩු කාලයක් ඇති මේ අවස්ථාවේදී වත් ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සිතා බැලිය යුතු කාරණයකි.

Leave a Comment