in

සී.එස්.එන් ආයතනයට විකාශනය ලබා දුන්නේ කවුරුත් අයදුම් නොකල නිසයි – ඇමති



ඉකුත් ලෝක කුසලාන තරගාවලිය සඳහා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගංණය ඇතුලුව ක්‍රීඩාංගණ තුනක් ඉදි කළේය. 2011 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 333ක් ණය වූ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී රවි කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම වර්ෂයේදී රූපවාහිනී විකාශන අයිතිය පැවරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක මුදලක් පමණක් ඉපැයූ බවයි.

දේශීය තරග විකාශන අයිතිය සී. එස්. එන්. නාළිකාවට පැවැරීමෙන් අවාසියක් නොවූ බව පැවැසූ අමාත්‍යවරයා "සී. එස්. එන්. එකට විකාශන අයිතිය ලබා දීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ. විවෘත ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එම්. ටි. වි. එකට දාන්න පුළුවන්. රූපවාහිනියට දාන්න පුළුවන්. අයි. ටි. එන්. එකට දාන්න පුළුවන්. සී. එස්. එන්. එකට දාන්න පුළුවන්. පුවත්පත් දැන්වීම් දාලා තියෙනවා. අපිට වැටිලා තියෙන උපරිම ලංසුව තමයි සී. එස්. එන්. එක. හැබැයි අපි ඒකත් පසුගිය කාළේ ගෙවීම් එක්ක බලද්දි අපිට මූල්‍ය වශයෙන් වාසියක් ලැබුණා. අපිට කිසිම පාඩුවක් වෙලා නැහැ…..˜ යනුවෙන්ද පැවසීය.

කෙසේවෙතත් වසර තුනක් සඳහා දේශීය තරග විකාශන අයිතිය පැවරීම සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පැවරූ පුවත්පත් දැන්වීම් ඇතුළත් වූයේ ව්‍යාපාරික අතිරේකයක සහ ඇබෑර්තු අතිරේක පමණි. එමෙන්ම ඒ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සී. එස්. එන්. නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කළේය. මේ හේතුවෙන් ටෙන්ඩරය පිරිනැමීමේදී ලැදියාවන් අතර ගැටුමක් ඇති වූ බවද චෝදනා එල්ල විය. රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේවන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයකින් ලාභ ලබා ඇති බවයි.

Leave a Comment