in

ලෝක කුසලානයක් දිනුවා කියා ප්‍රශ්න සියල්ල විස‍ඳෙන්නේ නැත. (උපුටා ගැනීමක්)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරතාව දිනාගැනීම ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්න සියල්ල විසඳුණා යැයි හැ‍ඟෙන ආකාරයෙන් මේ දිනවල කටයුතු සිදුවෙමින් පවතී. ඒ අනුව අවුරුදු කන්න මුදල් තිබේද නැද්ද යන්න පවා අමතකව යමින් ශ්‍රී ලාංකිකයෝ ජයග්‍රහණය සමරමින් සිටිති.

අයි. සී. සී. ය සංවිධානය කරන ලෝක කුසලාන තරඟාවලියක් ජයගැනීම හැම පැත්තකින්ම හොඳය. එහෙත් වැදගත් වන්නේ වසර 7ක් තුළ ලෝක ශූරයන් 5ක් බිහිකල තරඟාවලියක ස්වභාවය තේරුම් ගැනීමයි. ආසියානු කුසලානය ජයගෙන අවසන් තරඟ ජයග්‍රහණය කරන්නේ කෙසේද යන කලාව ඉගෙන ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරඟයේදී එය හොඳින් අත්හදා බැලුවේය. එහෙත් වඩාත් වැදගත් වන්නේ මැයි මාසයේදී ඇරඹෙන එංගලන්ත සංචාරය ජය ගැනීමයි. මේ සංචාරයේ එක්දින තරඟාවලිය සහ ටෙස්ට් තරඟාවලිය ජයගත හැකි නම් එය වැදගත්ය. එසේම 2015 පන්දු ඕවර 50 ලෝක කුසලානයේදී පෙරළියක් කිරීමද විස්සයි විස්ස ශූරයන් වීමට වඩා වැදගත්ය. මේ නිසා මෙම ලෝක කුසලාන ජයග්‍රහණය සැමරුවාට අපට ඉදිරියේ ඇති වැදගත් දේ අමතක නොකළ යුතුව තිබේ.

කාංචන දසනායක
‘අද’ පුවත්පත
2014.04.11

Leave a Comment