in

චන්දිමාල්ට පල නොකියා පලා බෙදීම


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2015 මාර්තු මස දක්වා ඉදිරි මාස 11ක කාලය සඳහා දිනේෂ් චන්දිමාල් සතුව තිබුණු එක්දින සහ ටෙස්ට් උප නායකත්වයත්, විස්සයි විස්ස නායකත්වයත් ඉවත් කොට විස්සයි විස්ස නායකත්වයට ලසිත් මාලිංග වත්, ටෙස්ට් සහ එක්දින උපනායකත්වයට ළහිරු තිරිමාන්න වත් පත් කොට ඇත.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් මුල අමතක කිරීමකි. එමෙන්ම සංගක්කාර සහ මහේලට විනය පරීක්ෂණ තබනවා කියා මාධ්‍ය විසින් ඇති කල නාට්‍යයේදී බොහෝ සෙයින් කළබල වුණු ක්‍රීඩාලෝලීන් දිනේෂ් චන්දිමාල් ට පල නොකියා පලා බෙදීමේදී දැඩි නිහඬතාවක් පල කිරීම කණගා‍ටුවට කරුණකි.

දිනේෂ් චන්දිමාල් යනු ලංකාවේ ක්‍රිකට් අනාගතයයි. ඔහු සැබවින්ම සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග ආදී ‘තමාට පෙර රට’, ‘පඩියට පෙර රට’ ගැන සිතන ඝණයේ තරඟ දිනවන පිතිකරුවෙකි. ඔහු බොහෝ අවස්ථාවලදී ඉක්මනින් දැවී යාමට හේතුව තමන් ගැන නොසිතා වේගයෙන් පන්දුවට පහරදී රට වෙනුවෙන් ඉක්මනින් ලකුණු ‍රැස් කිරීමට යාම බව 1996දී ලංකාවට ලෝක කුසලානය දිනවූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කළේය. එය සැබවින්ම සත්‍යයකි. බොහෝ ක්‍රීඩකයින් කණ්ඩායමේ තම ස්ථානය ‍රැකගැනීමට ඉතා හෙමින් පන්දුවට පහර දෙමින් පන්දු 80කින් 50ක්, පන්දු 140කින් ලකුණු 100ක් ‍රැස් කිරීමට උත්සාහ කරන අතර එයින් ‘තරඟ දිනවන’ ඉනිම් ගොඩ නොනැගේ.

මේ අර්ජුන විසින් චන්දිමාල් ගැන කල ප්‍රකාශයයි.

පසු ගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජයගැනීම තුල සිටි ‘පි‍ටුපස වීරයා’ දිනේෂ් චන්දිමාල්ය. ලෝක කුසලානයට පෙර වසරක පමණ කාලයක් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දැරූ චන්දිමාල් ඔහු නායකත්වය දැරූ තරඟ 12කින් 8ක් දිනවා 66.6% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් නායකයකු ලෙස වාර්තා කොට ඇත්තේ ශ්‍රී ලාංකික නායකයෙක් විස්සයි විස්ස ඉතිහාසයේ ලබා ගත් ඉහලම ජයග්‍රාහී ප්‍රතිශතය පිහි‍ටුවමිනි. මෙම විස්සයි විස්ස ජයග්‍රහණය වසරක පමණ කාලයක් චන්දිමාල් නායකයා ලෙස ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකට කණ්ඩායම පවත්වා ගනිමින් සිදු කල මෙහෙයේ අග්‍ර ප්‍රතිඵලයයි.

එමෙන්ම ලකුණු ලබා නොගත්තත් කණ්ඩායම දිනීමෙන් පෙන්නුම් වූයේ චන්දිමාල් තුල පෙර අන් නායකයන් තුල නොතිබුණු වාසනාව තිබෙන බවයි. සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් සතුව තිබුණු තරඟ දිනවන වාසනා ගුණය චන්දිමාල් සතුවද තිබෙන බව කිව යුතුය. එම වාසනාව හුදෙක් වාසනාවක් නොවන අතර දක්ෂතාවය තුලින් මතුවන වාසනාවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි විස්සට ඔබ්බෙන් ඇති ජයග්‍රහණ දෙස බැලිය යුතු කාලය එලඹ ඇත. එවැනි ජයග්‍රහණ ලබා ගැනීමට නම් ලංකාවේ ක්‍රිකට් අනාගතයන් වන චන්දිමාල් වැන්නන්ව ‍රැක ගත යුතුය. ජේෂ්ඨ ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි චන්දිමාල් පිතිහරණයට එන ස්ථානය වෙනස් කිරීමෙන් ඔහුගේ මානසික ඒකාග්‍රතාවය බි‍ඳෙන අතර එයින් ස්ථිරව ලකුණු ලබා ගැනීම අපහසු වේ. අර්ජුන රණතුංගට අනුව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපිරිසකි. එක් පිරිසක් ක්‍රීඩාවෙන් හම්බ කිරීමට එන පිරිසය. අනෙක් පිරිස සල්ලි පසෙක දමා රට මුලට ගනිමින් රට වෙනුවෙන් ජයග්‍රහණ ගෙන එන පිරිසය. චන්දිමාල් වැනි රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිඩකයින් ‍රැක ගැනීම අප සැමගේ ජාතික වගකීමයි.

Leave a Comment